මා පසුගිය දිනක මගේ හිතවතෙකු සමග හොරණ ප්‍රධාන පෙලේ ව්‍යාපාරික මහත්මයෙකු මුණගැසුණා. අප ඇත්තටම ගියේ ඔහු සමග සාකච්ඡා කර අපට ඡන්දය ලබා දෙන සේ ඉල්ලා සිටීමට. ඔහු ඉතාම සුහදව අප සමග කථා කළා. ඔහුගේ පවුලේ සියළු ඡන්ද මෙවර අපට ලබා දෙන බව පැවසුවා.

අපගේ විමසීමකින් තොරවම ඔහු කීවා මෙවර අපට මුදල් ආධාරයක් කිරීමට අවශ්‍යයි කියා. මගේ මෝටර් රථයේ තිබී ආධාර පත්‍රයක් ගෙන්වා ඔහුට දුන් විට ඔහු මුදල් ආධාරයක් ද කලා. පවුල් වල තොරතුරුද හුවමාරු කරගනිමින් අපි හොඳ මිත්‍ර සම්බන්ධයකුත් ගොඩ නගා ගත්තා. අප එතැනින් පිටත්වන විට ඔහු අප සමග පහත මාලයට ඇවිත් ඔහුගේ නිෂ්පාදන ගබඩා කරන ස්ථානයටත් අපව කැඳවා ගෙන ගියා.

අපි සිතුවේ ඔහුට, ඔහුගේ නිෂ්පාදන අපට පෙන්වීමට අවශ්‍යවුවා යැයි කියා. නමුත් සේවකයෙකු කැඳවා අප දෙදෙනාට ගැලපෙන ප්‍රමාණ වලින් තෑගි කට්ටල දෙකක් දුන්නා. අප ඔහුට ස්තුති කර එතැනින් පිටවී මගේ මෝටර් රථය වෙත පැමිණුනා. ඔහුත් අප සමග ඒ වෙත ආවා. එවිටයි ඔහු දුටුවේ අපේ රියැදුරු මහතාව. ඔහු රියැදුරු මහතාගේ පාවහන්වල ප්‍රමාණය විමසා ඔහුටද තෑගි කට්ටලයක් ලබා දුන්නා.

ඔහු කියා සිටියා, බොහෝ අය පැමිණිවිට ඔහු මෙලෙසම තෑගි කට්ටල ලබා දුන්නත් ඔවුන්ගේ රථවල රියැදුරන්ට එවැනි තෑග්ගක් දීමට නොහැකිවන බව. අපට පුදුම හිතුනා, ඔහුගේ අදහස් සහ ආකල්ප පිළිබඳව. ඔහු ඉතාමත් නිහතමානී මහත්මයෙක්. ” මම වඩාත් පැහැදුනේ සමාජයේ සියළු දෙනාටම සමානත්වයෙන් සැලකීමට ඔහුට ඇති උවමනාව” පිළිබඳව.

මොනතරම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්ද? අපටත් මග හැරෙන මෙවැනි ක්‍රියා කරන උතුම් මිනිසුන් තවමත් අප අතර සිටිනවා. අප නිර්මාණය කරනු ලබන සමාජයේ එවැන්නන් දහස් ගණන් සිටීවි.

අපි ඔහුට ස්තුති කරමින් ඔහුගෙන් සමුගත්තේ මැතිවරණයෙන් පසු හොරණ ප්‍රදේශයේ කර්මාන්තකරුවන් සියළු දෙනා මුණ ගැසෙන සහ එකට එකතු කරන බලාපොරොත්තුවෙන්.

සියළු ශ්‍රී ලාංකිකයින් එකට එක් රොක් වී යළි මේ දේශය අපි සෑම දෙනාටම සතුටින් සිටිය හැකි දේශයක් බවට පත්කරන යුගය වැඩි ඈතක නොවේවි.


ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ

ජාතික ජන බලවේගය, කළුතර දිස්ත්‍රික්කය

Leave a Reply