ඔබට ඔබේ පියා ගැන සිතන්නට දිනක් ඉතිරි කරමින් අද මම මෙය පලකරමි. මෙම අතීත ආවර්ජනය ඉතා ප්‍රබල මානව හැගීමක් බව අද මට පසක් වින.

මගේ පියා මාටින් අබේසිංහ. ඔහු ඉපදී තිබෙන්නේ 1924 ඉංග්‍රීසි ආණ්ඩු සමයේ. ඔහුගේ පවුලේ සියළු දෙනාට තිබුනේ ඉංග්‍රීසි මුල් නම්. ඔහුගේ උපන් ගම තලවාකැලේ. ඔහුට මගේ මව මුණ ගැසී ඇත්තේ හොරණදී හෝ තෙබුවනදී විය යුතුයි. මගේ මව හොරණ උඩවත්තේ ඥාති නිවසක සිට හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ ඉගෙනුම ලබා තිබෙනවා. මට මතක නැති මුත් මගේ පියා තෙබුවන හෝ අවට ප්‍රදේශයක සිනමා ශාලාවක කළමනාකරු ලෙස සේවය කරන්නත් ඇති. මම එය ඔවුන්ගෙන් අසා නැහැ.

ඔහු බොහෝ කාලයක් රැකියාවේ යෙදී සිටියේ සිනමා කර්මාන්තයේ. ඔහුට සිනමා ශාලාවක් නිර්මාණය කිරීමේ සිට එහි සියලු කටයුතු කිරීමේ, මැෂින් ක්‍රියාකාරිත්වයත් ඇතුළුව නිපුනත්වයක් තිබුනා. මට ඇති මුල්ම මතකය අනුව ඔහු බලංගොඩ තිබු ඉම්පීරියල් සිනමා ශාලාවේ කළමණාකරු. ඔහු පැල්මඩුල්ල ගන්කන්ද සිනමා ශාලාවේත් ආරම්භක කළමණාකරු. ඒ නිසාම එහි සිටියදී 5 ශිෂ්‍යත්වය සමත්වීම නිසා මට වසර දහයක් පැල්මඩුල්ලේ ඉගෙන ගැනීමට භාග්‍යය ලැබුණා. ඉන් පසු ඔහු නිවිතිගල, කලවාන, කිරි ඇල්ල, ඉංගිරිය ප්‍රදේශ වල සිනමා ශාලාවල සේවය කළා.

ඔහුට සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම ලිවීමේ කියවීමේ හැකියාව තිබුණා. මට මතකයි චිත්‍රපටි පිළිබඳව සිනමා ශාලාවේ පෝස්ටර් ඔහු විසින්ම නිර්මාණය කළ බව.

ඔහු ස්වභාවයෙන්ම නිවුණු පුද්ගලයෙක්. කලබල නෑ. අපට ඉතා කරුණාවයි. සැර පරුෂ නැහැ. අපි ඔහු සමග ගැවසීමට ඉතා කැමතිවුනා. මගේ මව තමයි අපි හත් දෙනාවම පාලනය කලේ. අපට ඉගැන්වීමට සෘජූවම අපි පිටුපස සිටියේ ඇය. පියා ඇයට උදව් කලා. හිත රිදුන විට, කේන්ති ගිය විට ඔහු නිශ්ශබ්දව සිටියා. ඒ ඔහුගේ හැටි. අනවශ්‍ය වාද විවාද වලට ගියේ නැහැ. ඒ නිසාම මමත් ඉවසන්න පුරුදුවුනා. කථා කරනවාට වඩා අන් අයට ඇහුම් කන් දෙන්න පුරුදුවුනා.

1980 දී ඔහුට වැළඳුනු හෘදයාබාධයක් නිසා මට, අපිට, ඔහුගේ දයාබර ඇසුර අහිමිවුණා. මා වෛද්‍යවරයෙකු වී වෛද්‍ය විද්‍යාලයෙන් පිටව එනවිට ඔහු ජිවතුන් අතර නැහැ. ඒත් මට, අපිට, මෙන්ම ලොව සියළු පියවරුන්ට ඔහු වැන්නෙක් විය හැකි උනානම් මේ ලෝකය කෙතරම් සුන්දර වන්නේදැයි මට සිතෙනවා. ලෝකයේ බොහෝ දරුවන්ට තමන්ගේ පියා ගැන එසේ සිතෙනවා ඇති, අතලොස්සකගේ හැරෙන්නට. ඒ නිසයි පියවරුන්ගේ දිනය වැදගත්.

පවුලේ වැඩිමහල් දරුවා වූ නිසා ‘නායකත්වය’ ගැන මම ඉගෙනගත්තේ ඔහුගෙන්. ඕනෑම පිරිසක් සමග සහයෝගයෙන් පොදු අරමුණක් වෙනුවෙන් අධිෂ්ඨානශිලිව කටයුතු කිරීමට මුල් පාඩම ඉගෙනගත්තේ ඔහුගෙන්. අපේ පවුලේ මට සහෝදරවරු 5යි එක සහෝදරියයි ඔවුන් විවාහකයි. අදටත් මම බිම එක ඉරක් ඇඳ, අපි සියළු දෙනාම දරුවන් සමග පේලියට හිට ගමු කිවහොත් ඔවුන් කිසිම පැකිලීමක් නැතිව සිට ගන්නවා. ඒ මගේ පියා මට ඉගැන්වූ නායකත්වයේ පාඩම. අපි එකිනෙකා අනිකා රැක බලා ගන්නවා. මේ මැතිවරණයේදීත් මගේ ශක්තිය තියෙන්නේ එතැනයි.

ඔබට ඇහුම්කන් දීමට මා සූදානම්


වෛද්‍ය නිහාල් අබේසිංහ
ජාතික ජන බලවේගය, කළුතර දිස්ත්‍රික්කය

Leave a Reply