Dr. Nihal Abeysinghe

ඔබ සූදානම්ද ?

“මා සැමදා පෙනී සිටියේ සියලු ශ්‍රී ලාංකිකයින් ලැබිය යුතුයැයි මා තරයේ විශ්වාශ කරන සමාජ සාධාරණත්වය වෙනුවනි. එය තනි තනිව අප සියල්ලන්ටම ලබා ගත හැකි බව මම විශ්වාස නො කළෙමි, තවමත් විශ්වාස නොකරමි.

යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම අති දුෂ්කර කාර්යයක් බව මා දැන සිටි අතර සමාජයේ පහළම ස්ථරය නියෝජනය නොකළත් මගේ සමීපතමයින්වූ ඔවුන් විඳි දුක් ගැහැට විවිධ කාලසීමාවලදී අඩු වැඩි වශයෙන් මමද අත් විඳ ඇත්තෙමි. ඒ වෙනුවෙන් පෙනී සිටීම නිසා නොයෙකුත් දුක් ගැහැට ද විඳ ඇත්තෙමි.

ධනය ඉපදීමට ආශාවක් මා තුල කිසිදා ඇති නොවුනි. මා මහන්සියෙන් කැපවීමෙන් ලද දැනුම මා පෞද්ගලිකව බලාපොරොත්තු වූ සියලු ජයග්‍රහණ ලබා ගන්නට මා මෙහයවීය.

මට තවමත් ඉටු කර ගත නොහැකී වී ඇත්තේ මුළු මහත් සමාජය වෙනුවෙන් මා තැබූ බලපොරොත්තු පමණකි. ජීවිතයේ ඉතිරි කාලය මම ඒ වෙනුවෙන් කැපකරමි”

66-71කාලසීමාවේ මම පැල්මඩුල්ල ගන්කන්ද මැදි විදුහලේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිටිනවිට “සෝවියට් දේශය” “අද චීනය” සඟරා කියෙව්වේ, පත්තර පොත් බැලුවේ, මගේ දැනුම වැඩි කරගන්න. දේශපාලනය ගැන නේවාසිකාගාරය තුල කතිකාවක් ඇතිවුනේ 1970 මහා මැතිවරණයත් සමග. අපි පෙනී සිටියේ ප්‍රගතිශීලී කඳවුර වෙනුවෙන්. මැතිවරණයෙන් සමගි පෙරමුණ ජයග්‍රහණය කරන කොට සමසමාජ Communist පක්ෂ ජයග්‍රහණය කරන කොට සතුටුවුනා. ඒත් 1971 අරගලය ගැන දැනගත්තහම මම, අපි හිතනවට වඩා වෙනස් මාවතක් පොදු ජන ජයග්‍රහණ සඳහා තිබෙන බවත්‍ තේරුම් ගත්තා.

හොරණ තක්ෂිලා මැදි විදුහලේදී මගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමකර කොළඹ වෛද්‍ය පීඨයට පැමිණිමෙන් පසු මුලින්ම කලේ වාමාංශික එකමුතුව ලෙස අපි හඳුනාගත් “කලා කවය” ට එකතුවීම. ඉන්පසු ජවිපෙ සහෝදරවරු සිරගෙදරින් නිදහස්වී ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි පසු සමාජවාදී ශිෂ්‍ය සංගමයට එකතුවුනා. 1979/80 කොළඹ විශ්ව විද්‍යාලේ ශිෂ්‍ය සභාවේ ලේකම් ලෙස කටයුතු කලා J R ජයවර්ධන ශිෂ්‍ය සභා තහනම් කල පසු වෛද්‍ය පීඨයේ සුභ සාධක සංගමය පිහිටුවාගෙන ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් දිගටම පෙනී සිටියා. එහි පළමු සභාපති මම.

1981 දෙසැම්බර් මාසයේදී සීමාවාසික වෛද්‍ය වරයෙකු ලෙස පත්වී එදින සිට මගේ සේවය මේ රටේ ජනතාව වෙනුවෙන් උපරිම ලෙස කැපවී ලබාදුන්නා. 1987/88 වසරේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ Editor ලෙස ක්‍රියා කලා 1988/89 විධායක කමිටුවේ සිටියා. හැමවිටම වෛද්‍ය වරුන්ගේ සාධාරණ අරගල වලදී ඉදිරියෙන්ම සිටියා.

2008 වනතුරු රජ්‍යසේවයේ රැඳී සිටියා. 2008 දී ලෝක සෞඛ්‍ය සංවිධානයට රැකියාවට ගියා. දේශපාලනය ගැන උනන්දු වුනාට මගේ දේශපාලන උවමනාවන් සහ රැකියාවේදී මගෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් පටලවා ගත්තේ නැහැ මගේ දේශපාලන අදහස් වලට එකඟ නොවන අයත් මගේ ඒ සෘජු සවභාවය ගැන සාක්ෂි දරාවි. මම මගේ රට වෙනුවෙනුත් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙනුත් මගේ උපරිම සේවය ලබා දුන්නා. මා ගැන දන්නා සියළුම දෙනා එයට සාක්ෂි දරාවි.

දැන් මම මගේ පවුලේ අයට හැර වෙනත් බැඳීම් නැති නිදහස් පුද්ගලයෙක්. පහුගිය අවුරුදු 3 මම මගේ කාලය ශ්‍රමය සහ අවශ්‍ය ප්‍රමාණයට මම ඉතා සාධාරණව උපයාගත් ධනය වියදම් කරමින් ජාතික විද්වත් සංවිධානයත් ජාතික ජන බලවේගයත් ගොඩ නගන්න මට හැකි උපරිම ලෙස කැපවුණා.

මෙවර මහ මැතිවරණයට මා ඉපදුනු කළුතර දිස්ත්‍රික්කය සඳහා, උසස් අධ්‍යාපනයේ ජයග්‍රාහී කඩ ඉම පසු කරද්දී මා සමග සිටි මගේ ඥාතීන් සහෘදයින් වෙනුවෙන් හොරණ ආසනය නියෝජනය කරමින් තරඟ වදිනවා. ඊයේ ඒ පිළිබඳ ජාතික ජනබලවේගයේ නිල දැනුම්දීම කළුතර දිසා සමුළුවේදී සිදුකලා.

මට මෙතෙක් ඔබ වෙනුවෙන් රැකියාවේදී කල සේවයට අමතරව ඉටු කල නොහැකිවූ සමාජමය යුතුකම් සහ වගකීම් ඉටු කරදීමට මට සහය වන්න.